හලාවත ජයබිම සිද්ධිය: වාහනයට පහරදී මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බවට ව්‍යාපාරිකයෙකුගෙන් චෝදනා – හලාවත OICගේ ක්‍රියාකලාපය පිළිබඳවත් ප්‍රශ්න

 
හලාවත ජයබිම ප්‍රදේශයේ පසුගිය 26 වැනිදා රාත්‍රියේ සිදුවූ බව පැවසෙන සුළු රථවාහන අනතුරක් සමඟ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික ඉන්දික මනෝජ් මහතා වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එම වීඩියෝවේදී ඔහු පවසන්නේ, අනතුරෙන් පසුව පිරිසක් තම වාහනය වටකර අසභ්‍ය වචන භාවිත කරමින් තර්ජනය කළ අතර, වාහනයට පහරදී මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බවයි. එම අවස්ථාවේ සිදුවූ බව පැවසෙන තර්ජන සහ වාහනයට හානි සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනද ඔහු ප්‍රසිද්ධ කර ඇත.

මීට අමතරව, සිද්ධිය සම්බන්ධයෙන් තමන් මුලින්ම පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී පැමිණිල්ලක් කළ බවත්, පොලිසිය පැමිණෙන තෙක් කාර් රථය තුළම රැඳී සිටිමින් කිසිදු ගැටුමකට නොපැමිණි බවත් ඔහු පවසයි.

එම අවස්ථාවේ තම සන්තකයේ රුපියල් ලක්ෂ 11ක මුදලක් සහ රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් මැණික් තිබූ බවත්, ආරක්ෂක අමාත්‍යාංශය මගින් නීත්‍යානුකූලව නිකුත් කළ ගිනිඅවියක්ද තමන් සතුව තිබියදීත් එය භාවිත නොකර, කාර් රථයේ වීදුරු වසාගෙන පොලිසිය පැමිණෙන තෙක් රැඳී සිටි බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, සිද්ධියෙන් දින කිහිපයක් ගතවී තිබියදීත් තමන්ට තර්ජනය කළ බවට සහ වාහනයට හානි කළ බවට චෝදනා කරන පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද ඔහු පවසයි.

එමෙන්ම, සිද්ධියෙන් අනතුරුව සිදු වූ පොලිස් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව පවසන ඉන්දික මනෝජ් මහතා, හලාවත පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ (OIC) ක්‍රියාකලාපය පිළිබඳවද චෝදනා කිහිපයක් එල්ල කරමින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටී.

එම වීඩියෝව පහතින් ...

ප්‍රේක්ෂක අවවාදය: මෙම වීඩියෝවේ අසභ්‍ය වචන සහ ඇතැම් ප්‍රේක්ෂකයන්ට අපහසු විය හැකි අන්තර්ගතය ඇතුළත් බැවින්, ප්‍රේක්ෂක විචාරයෙන් නැරඹීමටත් කුඩා දරුවන් නැරඹීමෙන් වළක්වන ලෙසත් දැනුම් දේ.

Previous Post Next Post